“අල්ලාහ් මෙසේ පවසයි: ආදම්ගේ පුත්‍රයාගේ සෑම ක්‍රියාවක්ම ඔහු වෙනුවෙනි. නමුත් උපවාසය හැර. සැබැවින්ම එය මා වෙනුවෙන් වූවකි. ඒ සඳහා ප්‍රතිඵල මා විසින්ම පිරිනමමි
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “අල්ලාහ් මෙසේ පවසයි: ආදම්ගේ පුත්‍රයාගේ සෑම ක්‍රියාවක්ම ඔහු වෙනුවෙනි. නමුත් උපවාසය හැර. සැබැවින්ම එය මා වෙනුවෙන් වූවකි. ඒ සඳහා ප්‍රතිඵල මා විසින්ම පිරිනමමි. උපවාසය පලිහකි. නුඹලා අතරින් කිසිවකුගේ උපවාස දිනය වී නම්, ඔහු අසභ්‍ය ලෙස නොහැසිරිය යුතුය. මහා හඬින් (නොමනා ලෙස) කතා නොකළ යුතුය. කිසිවකු ඔහුට බැණ වැදුණේ නම් හෝ ඔහු සමග රණ්ඩුවට පැමිණියේ නම් හෝ ‘සැබැවින්ම මම උපවාසයේ නිරතවන්නෙක්මි’ යැයි පැවසිය යුතුයි. මුහම්මද්ගේ ප්‍රාණය කවුරුන් සතුවේද ඔහු මත දිවුරා පවසමි. උපවාසය රකින්නාගේ මුවින් හමන දුගඳ අල්ලාහ් අබියස කස්තූරිවලට වඩා සුවඳැතිය. උපවාසය රකින්නාට සතුට ගෙන දෙන අවස්ථා දෙකක් ඇත. ඔහු උපවාසයෙන් මිදෙන විට ඇති වන සතුට හා තම පරමාධිපති හමුවන විට තමන්ගේ උපවාසය පිළිබඳ දැනෙන සතුටයි."
Explanation
ආදම්ගේ පුත්‍රයා කරන යහපතට ඒ හා සමාන කුසල් දහයේ සිට හත්සීය දක්වා ඔහුට ගුණ කරනු ලැබේ. නමුත් උපවාසය හැර. සැබැවින්ම ඒ තුළ ප්‍රදර්ශනය කිරීමක් නොමැති බැවින් එය මා වෙනුවෙන් පමණක් වන්නකි. ඒ සඳහා ප්‍රතිඵල මා විසින්ම පිරිනමමි. එහෙයින් ඔහුගේ කුසල්හි ප්‍රමාණයත්, ඔහුගේ කුසල් ගුණ කිරීමත් පිළිබඳ මා පමණක් දනිමි.
පසුව එතුමාණෝ මෙසේ පැවසූහ: (උපවාසය පලිහකි.) එනම්, අපා ගින්නෙන් ආරක්ෂාවකි; රැකවරණයකි; ආවරණයකි. ඊට හේතුව ආශාවන්ගෙන් හා පාපයට වැටීමෙන් ඔහු වැළකී සිටින බැවිනි. අපා ගින්න ආශාවන්ගෙන් වටලාගෙන ඇත.
(නුඹලා අතරින් කිසිවකුගේ උපවාස දිනය වී නම්, ඔහු අසභ්‍ය ලෙස නො හැසිරිය යුතුය.) එනම් සංසර්ගයේ යෙදීමෙන් හා එයට මුලපිරෙන කටයුතුවල නිරත වීමෙන් වැළකී සිටිය යුතුය. එමෙන්ම අසභ්‍ය දෑ කතා නො කළ යුතුය.
(මහා හඬින් නොමනා ලෙස කතා නොකළ යුතුය.) නොමනා තර්ක හා කෑකෝ ගැසීමෙන් වැළකී සිටිය යුතුය.
රමළාන් මාසයේ (කිසිවකු ඔහුට බැණ වැදුණේ නම් හෝ ඔහු සමග රණ්ඩුවට පැමිණියේ නම් හෝ) ඔහු ‘සැබැවින්ම මම උපවාසයේ නිරතවන්නෙක්මි’ යැයි පැවසිය යුතුයි. එවිට ඔහු එයින් වැළකී සිටිය හැකිය. ඔහු රණ්ඩුවටම පැමිණෙන්නේ නම් වඩාත් සැහැල්ලු දැයින් ඔහුව වළක්වන්නට උත්සාහ කළ යුතුය.
පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම ප්‍රාණය කවුරුන් සතුවේද ඔහු මත දිවුරා මෙසේ පවසා සිටියේය. "උපවාසය හේතුවෙන් උපවාසය රකින්නාගේ මුවින් හමන දුඟද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබ ළඟ ඇති කස්තූරිවලට වඩා සුවඳැතිය. සභාවක හා රැස්වීමක යොදනු ලබන කස්තූරියට වඩා කුසලින් එය අධික වන්නේය."
උපවාසය රකින්නාට සතුට ගෙන දෙන අවස්ථා දෙකක් ඇත. ඔහු උපවාසයෙන් මිදෙන විට එමගින් කුසගිනි හා පිපාසය නිවා ගනිමින් සහනයක් ලබන විට ඇති වන සතුට හා උපවාසය සම්පූර්ණ කොට ඔහුගේ නැමදුම් අවසන් කරන විට ඇති වන සතුට එමෙන් ම තම පරමාධිපතිගෙන් සහනයක් ලැබිමේ හා උපවාසයට දායක වීමේ සතුට.
(තම පරමාධිපති හමුවන විට තමන්ගේ උපවාසය පිළිබඳ ඔහු සතුටු වෙයි.)
එනම් එවිට ඔහුගේ ප්‍රතිඵල හා ඔහුගේ කුසල් තුළින් සතුටු වෙයි.
Benefits
අසභ්‍ය හා නොමනා කතාවන් අත්හැර දැමීම, මිනිසුනට හිංසා කිරීමෙන් වැළකී සිටීම. ඔවුන් විසින් සිදුකරන නපුරකම්වලදී ඉවසීමෙන් හා ත්‍යාගශීලීව මුහුණ දීම.
උපවාසයේ නිරත වන්නෙකු හෝ නැමදුම්වල නිරත වන්නෙකු තම නැමදුම පූර්ණවත් කිරීම සම්බන්ධයෙන් හා එය අවසන්වීම සම්බන්ධයෙන් සතුටු වීමෙන්, මතුලොව ඔහුට හිමිවන ප්‍රතිඵල කිසිවක් අඩු නොකරනු ඇත.
පූර්ණ සතුට වනුයේ, ඉවසිලිවන්තයින් හා උපවාසය රැක්කවුන් කිසිදු ගණනයකින් තොරව පූර්ණව කුසල් ලබන අවස්ථාවේ දී උත්තරීතර අල්ලාහ්ව ඔවුන් හමුවීමයි.
අවශ්‍යතාවක දී හෝ යහපතක් සිදුවන අවස්ථාවක දී හෝ තම අවනතභාවය ගැන ප්‍රකාශ කර සිටීම මුහුණිච්ඡාවක් නොවේ. මම උපවාසයේ නිරතවන්නෙක්මි යන ප්‍රකාශයෙන් එය තහවුරු වේ.
උපවාසය පූර්ණවත් ලෙස රකින්නා වනුයේ තම ශරීර අවයව පාපකම්වලින් රැක ගැනීමය. එමෙන්ම බොරුව, අසභ්‍ය ප්‍රකාශ, බොරු සාක්ෂි යනාදියෙන් තම දිව රැක ගැනීමය. එමෙන්ම තම කුස ආහාර පාන ගැනීමෙන් රැක ගැනීමය.
උපවාසයේ නිරතව සිටිය දී අනවශ්‍ය කෑකෝ ගැසීම්, වාද විවාද කිරීම් තහනම් බව සහතික කිරීම. කෙසේ වෙතත් උපවාසයේ නිරත නොවන අයකුට පවා එය තහනම් කරනු ලැබූවකි.
මෙම හදීසය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම පරමාධිපති ගැන දන්වා සිටි හදීසයකි. මෙයට "අල් හදීසුල් කුද්සී" හෝ "..ඉලාහී" (දිව්‍ය වදන්) යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙම වචන හා අදහස් අල්ලාහ්ගෙන් වූවකි. නමුත් එය කියවීම නැමදුමක් වීම, ඒ සඳහා පිරිසිදුභාවය, අභියෝග කිරීම, ප්‍රාතිහාර්යය වැනි දැයින් අනෙක් ඒවා වෙන් කර හඳුනාගත හැකි අල් කුර්ආනයේ ලක්ෂණ එහි නැත.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

